රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්වභාවික හා ජෛව විවිධත්වයෙන් යුක්ත මනා පරිසර සුන්දරත්වයෙන් අනූන හරිත පැහැයෙන් බබලන සුමන සමන් දෙවියන්ගේ හා සත් පත්තිනි දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම සහිත කෘෂිකර්මාන්තය ජීවනෝපායකොට වෙසෙන ජනතාවක් සිටින ඉතා රමණීය පෙදෙසකි. මෙම කොට්ඨාසයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කෙරෙන දිය ඇලි, ඇළ දොළ හා ගංගාවලින් සමන්විතය. ඉඳුරාන ඇල්ල, ගොරකා ඇල්ල, වංගෙඩි මොල් ඇල්ල, මාහල්ල ඇල්ල, දුනුමාල ඇල්ල, මෙහිලා විශේෂ කොට දැක්විය හැකි අතර ඉන් දුනුමාල ඇල්ල හා ගොරකා ඇල්ල සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන දෙකක් ලෙස හැඳින්විය හැකිය.
අමිතිරිගල නාමල්ගමුව ගමට රැකවල් යොදමින් එම ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වෙමින් ගොරකා ඇල්ල නාරත්තල කුඩුමිරිස මාවරුල්ල කඳු අතරින් පහළට ගලා බසින්නේ මුළු පෙදෙසම අලංකාරවත් කරමිනි. ගොරකා බිකක හැඩය පෙන්නුම් කරන හෙයින් මෙම ඇල්ලට ගොරකා ඇල්ල යයි නම ව්‍යවහාර වූ බව ගම්මුන්ගේ අදහසයි. උසින් මීටර් 60ක් පමණ වන මෙම ඇල්ල කොටස් හතරකට විවිධ හැඩතල රටා මවමින් ගලා බසින්නේ මෙහි චමත්කාරවත් බව දෙගුණ තෙගුණ කරවමිණි. මාස තුනක් එක දිගට දියවර කඩා විසිර ගියහොත් ගමට වාසනාව උදාවන බව පැරණි ගැමියන්ගේ විස්වාසයයි.
ජෛව විවිධත්වයෙන් අනූන අක්කර 4 රූඩ් 1 පර්චස් 29ක පමණ භූමිභාගයකින් සමන්විත ඇල්ල දෙපස වන සම්පතින් පිරුණු ස්වභාවික පරිසර පද්ධතියකින් යුක්තය. දෙපස බට, කැන්ද, දෙල්, කිතුල්, පොල්, පුවක්, අඹ, කජු, ඉලුක් හා ආක්‍රමණික ශාකයක් වන භවරිනුග වැනි ශාකවලින්ද, ඇල්ල දෙපස රබර් වගාවෙන්ද, ඇල්ල පහළ වී වගා කෙරෙන කුඹුරු යායෙන්ද, නීල හරිත ලස්සන ගම්මානයක සිරිය උදාකරයි. මීට අමතරව තිත්තයා, කොරලියා, හඳයා, ඉරියා ආඳා, මඟුරා, පෙතියා, බුලත්හපයා, කනයා, ලූලා, දියකාවා වැනි ජලයේ ජීවත්වන සතුන්ද, ගිරවා, මයිනා, සැලයා, කපුටා, කෑරලා, පිලිහුඬුවා, ඇටිකුකුලා, වළිකුකුළා වැනි පක්ෂීන් ද, රිළවා, මුවා, වඳුරා, ඌරා, මීමින්නා, ඉත්තෑවා, කබල්ලෑවා වැනි සතුන්ගෙන් ද, විවිධ සමනල වර්ග, උරග විශේෂ ද මේ වනපියසේ සුන්දරත්වයට ජීවය සපයයි. ගොරකා ඇල්ල රක්ෂිතය හා දිය ඇල්ල වටා ඇති ජල පෝෂක ප්‍රදේශය ඉතා වැදගත් වන අතර, දැනටමත් අමිතිරිගල, මහදෙනිය වසම්වලට අවශ්‍ය ජල සම්පත සපයන ජල ව්‍යාපෘති දෙකම ඉදිකර ඇත්තේ මෙම ඇල්ල ආශ්‍රිතවය.
මෙම ඇල්ල සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමිතිරිගල දකුණ ග්‍රාම නිලධාරි වසමේ නාමල්ගමුව ගමේ පිහිටා ඇත. රුවන්වැල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ අංක 102/ඒ න්, තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල - නිට්ටඹුව මාර්ගයේ කි. මී. 5ක පමණ පැමිණ නාමල්ගමුව හන්දියෙන් ගොරකා ඇල්ල මාර්ගයේ මීටර් 350ක දුරක් ගෙවා මෙම දියඇල්ලට ළඟාවිය හැකිය.
ඇල්ල නැරඹීමට එන සංචාරකයින් විසින් පරිසරයට පොලිතින්, ප්ලාස්ටික්, වතුර බෝතල්, අරක්කු බෝතල්, සහ බියර් ටින්, එකතු කරනු ලබයි. ඇල්ල නැරඹීමට එන අයගෙන් බොහෝමයක් ඇල්ල අවට මත්පැන් පානය කර එම බෝතල් ඇල්ල තුළම බිඳ දමා යෑම සුලභ දසුනක් බවට පත්ව ඇත. එමනිසා මෙම ස්ථානය නැරඹීමට එන සංචාරකයන්ට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී ඇත. මෙහි පැමිණෙන සංචාරකයන්ට බීමට ජලය, වැසිකිළි පහසුකම්, ආහාර ලබාගැනීමට ආසන්න ස්ථානයක් නොමැතිවීමත් රථගාල් කිරීමට ප්‍රමාණවත් ස්ථානයක් නොමැති වීමත් ගැටලුකාරි තත්ත්වයකි.
ගොරකා ඇල්ල හා එයට අයත් රක්ෂිතය රජය සතු බැවින් සහ එය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලේඛන පවතින හෙයින් එම ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා මායිම් කණු යොදා රක්ෂිත භූමිය හා පෞද්ගලික ඉඩම් වෙන්කර ගතයුතුය. දැනට මිනිසුන් විසින් අනවසරයෙන් තනාගෙන ඇති ඉඩම් හා වගාකර ඇති ඉඩම් රජයට නැවත පවරා ගතයුතුව ඇත.
ස්වභාවික වනාන්තර හා දිය ඇලි නැරඹීමට එන සංචාරකයන් මෙවැනි ස්ථානයකට පැළයක් ගෙනවිත් රෝපණයටත් ගෙනෙන අපද්‍රව්‍ය බැහැර කිරීමටත් ක්‍රමවේදයක් සකස්කළ යුතුය. දැනට මෙම ස්ථානයට ගෙන එන අපද්‍රව්‍ය අරක්කු බෝතල්, බියර් ටින්, පොලිතීන්, රථගාල පවත්වාගෙන යන ස්ථානයේ නිවසේ අය විසින් එකතු කර නිසිලෙස බැහැර කරයි. එය යහපත් ක්‍රියාවක් වුවද වඩාත් ප්‍රායෝගික නොවේ. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මඟින් සංචාරක ආකර්ෂණය පවතින ස්ථානවල කුණු කසළ ඉවත්කර ගැනීම සඳහා සතියකට එක දිනක් වශයෙන් සිදුකිරීම වැදගත්ය.
දේශීය සංචාරකයන් සඳහා අවශ්‍ය කැසිකිළි වැසිකිළි පහසුකම් සඳහා ඇල්ල ආසන්නයේ පදිංචිකරුවන්ට සැපයීමට හැකිය. රථගාලද දැනට පවත්වාගෙන යන අතර, එය වැඩිදියුණු කිරීම වැදගත්ය. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන නවාතැන් පහසුකම් අසළ නිවැසියන්ට ලබාදිය හැකිය.
මේ කරුණු කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමුවී ගොරකා ඇල්ල රක්ෂිතය ආරක්ෂා කිරීමටත් එය රටේ සංවර්ධනයට යොදාගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

Post a Comment